නොකියූ කතාව (An untold story)

person kasunfolder_openUncategorizedaccess_time June 30, 2016
සහමුලින්ම උපුටා ගැනීමකි : සම්භවය මුල්පිටපත සහ අයිතිය චන්දිම(අවසන් වසර වෛද්‍ය ශිෂ්‍ය) සතුවේ.

ඉරිදා.

‍සතිය පුරාවටම වැඩ කරලා හෙම්බත් උනු ගත විතරක් නෙවේ හිතත් සැහැල්ලු කරගන්න දවසක්.

ඒත් වෛද්‍ය සිසුවෙකුට ඉරිදා දවස තවත් වැඩ කරන එක් දවසක් විතරයි.

සමහරු එලාම් එක ඔෆ් කරලා තව පැයක් විතර නිදා ගන්න හදනකොට ඔවුන් වෙනදා වෙලාවටම නැගිටලා සේවයට එනවා. ඒ අසනීප වලට වැඩ කරන දවස් නිවාඩු දවස් කියලා වෙනසක් නැති නිසා.

‍ඉස්පිරිතාලේ ලඟ පෙට්ටි කඩේට උදේම මම ගොඩ උනේ බඩට මොනව හරි දාගෙන ඉක්මණින් වාට්ටුවට යන්න උවමනා නිසයි.

ඉරිදා දවසක් උනත් ප්‍රසව හා නාරිවේද වාට්ටුව කලබලකාරී ස්වරූපයක් පෙන්නුම් කළා.

“වතුපිටිවල හොස්පිටල් එකෙන් ට්‍රාන්සර ආපු පේශන්ට් කෙනෙක් ඩොක්ට” හෙදිය සීමාවාසික වෛද්‍යවරියට දැනුම් දුන්නා.
සාමාන්‍යයෙන් ප්‍රසව හා නාරිවේද වාට්ටුවකට වෙනත් රෝහලකින් රෝගියෙකු එවන්නේ කලාතුරකින්.

“මොකද්ද අමාරුව?”
“ඊයේ හවස ඉඳලා බ‍‍ඩ කැක්කුමයි ඩොක්ට. එන්න එන්නම වැඩි උනා කැක්කුම. ඒ එක්කම වොට බෑග් එක කැඩුනා වගේ දැනුනා රෑ 1ට ‍විතර. මම එහෙම්ම ලඟම ඉස්පිරිතාලෙට ආවා.”

පෙනුමෙන් මාස 8-9ක පමණ ගැබක් පිහිටා තිබූ ඈ කියූ දෙයින් අපිට තවමත් ඈව මාරු කරලා එවන්නට හේතුවක් හිතාගන්න හැකි වූයේ නෑ.

“බබා ලැබෙන්න දින දීලා ති‍බ්බේ කවදටද?” මම මගේ ඊලඟ ගැටලුව යොමුකළා.
“බබා නෙවෙයි ඩොක්ට. බබාලා දෙන්නෙක්. මම අවුරුදු 8ක් විතර බබාලා නැතිව හිටියා. ඊට පස්සේ IVF (In Vitro Fertilization) ක්‍රමයෙන් තමයි මේ සැරේ ප්‍රෙග්නන්ට් උනේ. දින නම් දීලා තිබුනේ ඔක්තෝබර් මාසේ.” ඈ වේදනාවෙන් ඇඹරෙමින් කියා සිටියා.

පෙනුමෙන් මාස 8-9ක ගැබක් මෙන් දිස්වූවත් ඇත්තටම ඈ මාස 6ක භ්‍රෑණ දෙකක් දරා සිටියා. ඇගේ රෝග ලක්ෂණ වලට අනුව නියමිත ‍දින වලට පෙර ප්‍රසූතියට යන බවක් පෙන්නුම් කළා. ‍මූලික රෝහලෙන් වඩා දියුණු රෝහලකට ඇයව මාරුකර එවා තිබුනේ එවැනි අඩු මාස ගණනකින් ඉපදෙන දරුවන් ‍රැක බලාගත හැකි පහසුකම් සහ සාමාන්‍ය ප්‍රසූතියකට වඩා වැඩි අවදානමක සහිත ප්‍රසූතියක් සිදු‍කිරීමේ පහසුකම අපේ රෝහලේ තිබුනු නිසයි.

ශ්‍රී ලංකාවේදී සාමාන්‍යයෙන් අඩු වයසින් උපදින දරුවන් ජීවත්වීමේ ප්‍රවණතාවයක් තිබෙන්නේ සති 28 ඉක්මවූ පසුයි. දියුණු රටවල මෙය සති 24ක් දක්වා අඩු වෙනවා. නමුත් ලංකාවේ සමහර දියුණු ඒකක ‍වල දැන් සති 24ක් ඉක්මවූ දරුවන්ට පවා ජීවත් වීමේ වරම් උදාකරදී ‍තිබෙනවා. මා පුහුණුව ලබන රෝහලත් එවන් පහසුකම් සහිත නොමෙරූ ළදරු දැඩි සත්කාර ඒකකයකින් සමන්විතයි. මේ පහසුකම් ය‍ටතේ ඇගේ ප්‍රසූතිය ආරක්ෂාකාරීව සිදුකිරීමට අප රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකය වගකීම භාරගෙන තිබුනා.

ද්විත්ව ගැබක් දරා සිටීම සාමාන්‍ය ගැබක් දරා සිටිනවාට වඩා වෙනස්. සාමාන්‍ය ගැබක් නිසා මවක් මුහුණ දෙන ගැටලු මෙන් දෙගුණයකට ඇයට මුහුණ දෙන්නට වෙනවා. නියමිත ‍දින වලට පෙර ප්‍රසූතියට යෑමත් එවන් එක් සංකුලතාවයක්.

ස්කෑන් පරීක්ෂණ‍යකින් භ්‍රෑණ දෙකෙ‍හිම සජීවි බව තහවුරු කිරීමෙන් අනතුරුව අප ඇගේ ප්‍රසූතියට යෑම ප්‍රමාද කිරීමට අවශ්‍ය ප්‍රතිකාරත්, භ්‍රෑණවල පෙනහලු පරිණත කිරීමට අවශ්‍ය ප්‍රතිකාරත් කඩිනමින් කෙ‍රුනා.

දහවල් වන විට තත්වය නරක අතට හැරුනේ ඇය අසනීප ගතියක් පෙන්නුම් කළ නිසයි. රුධිර වාර්තා වලට අනුව ඇය ආසාදනයකින් පෙලුනා. ‍‍එන්න එන්නම තත්වය දරුණු අතට හැරුණු නිසා ඉක්මණින් ප්‍රසූතිය සැළසුම් කරන්නට අපට සිද්ධ වුනා.

දරුවකුගේ ප්‍රසූතිය සැළසුම් කිරීමේදී සළකා බැලෙන මූලිකම කරුණක් වන්නේ දරුවාට වඩා ආරක්ෂාකාරී වන පරිසරය කුමක්ද යන සාධකයයි. පැතිරී යන ආසාදනය හමුවේ දරුවා ප්‍රසූත කරවීම වඩා ආරක්ෂිත බවට අප තීරණයක් ගත්තේ එනිසයි.

ගර්භාශය දරුවන් දෙදෙනාගේ පිහිටී‍ම අනුව සාමාන්‍ය ප්‍රසූතියකට ඈ සුදුසුකම් සපුරා තිබුනා. ඒ අනුව ඇයව කඩිනමින් ඒ සඳහා සුදානම් කෙරුනා.

වසර 8ක් තිස්සේ මද සරුභාවය නිසා දුක් විඳිමින් සිටි ඇයට දියුණු සෞඛ්‍ය සේවයක් යටතේ එක් දරුවෙකුගේ පමණක් නොව දෙදෙනෙකු‍ගේම දරු සුරතල් බැලීමේ හැකියාව උදාවුනේ එදින සවස් යාමයේදී දක්ෂ ජේෂ්ඨ වෛද්‍යවරයෙකුගේ අතින්.

පිළිවෙලින් ග්‍රෑම් 650ක් සහ 780ක් වූ පිරිමි දරුවන් දෙදෙනාව ඉක්මණින් නොමෙරූ ළදරු දැඩි සත්කාර ඒකකයට ඇතුල් කෙරුණා.

දරුවන් දෙදෙනාට සැමගේ අවදානය යොමුවූ අවස්ථාවේදී ඇය වෙනත් සංකුලතාවයකට මුහුණ දෙමින් සිටියා. ඒ වැදෑමහ නිවැරදිව වෙන් නොවීම නිසා රුධිරය නොකඩවා ගැලීම (Post-Partum Hemorrhage) යන මාරාන්තික තත්වය.

ප්‍රසව හදිසි අවස්ථා (Obstetric Emergencies) වල ඉහළින්ම ඇති මෙය ලෝකය පුරා මාතෘ මරණ විශාල සංඛ්‍යාවකට හේතුවන මූලික සාධකයක්. ද්විත්ව ගැබක් දරා සිටින මවක් මෙම සංකුලතාවයට ලක් වීමේ ප්‍රවණතාවය වැඩියි. එම නිසාම කලින් අවශ්‍ය රුධිර ගණයට අදාළ රුධිර වෙන්කර තබාගැනීමක් සිදුකෙරෙනවා හදිසි අවස්ථාවකදී පාරවිලනය සඳහා.

කෙනෙකුට මෙය මාතෘ මරණයකට‍ හේතු වන්නේ කෙසේද කියා සිතෙන්නට පුලුවනි. අපේ තුවාලයක් වූ විට රුධිර මෙසේ නොකඩවා ගැලීමක් සිදු වන්නේ නෑ. එසේ වුවත් තුවාලයේ ප්‍රමාණයට අනුව මරණය අත් වීමට තරම් රුධිර පරිමාවක් ගැලීමට විශාල කාලයක් ගත විය යුතුයි. එසේ නම් මවකට එය ඉක්මණින් අත්වන්නේ කෙසේද?

මෙයට ගර්භණීභාවයේදී ශරීරයේ සිදුවන මූලික වෙනස්කම් තේරුම් ගන්නට අවශ්‍ය‍යි. භ්‍රෑණයට අවශ්‍ය සැපයුම මවගෙන් ලබාදෙන්නේ වැදෑමහ (placenta) හරහායි. දරුවාට අවශ්‍ය පෝෂණය ඉක්මණින් ලබා දිය යුතු නිසා වැදෑමහ හරහා රුධිරය ගලන වේගය එන්න එන්නම වැඩි වෙනවා. ගර්භණීභාවයේ අග භාගයේදී මෙය මිනිත්තුවකට මිලිලීටර් 750 ඉක්මවණවා. වැදෑමහ ගැල‍වී යන්නේ දරුවා ප්‍රසූතියෙන් විනාඩි කීපයකට පසුයි. ඒ සමඟම ගර්භාශය සංකෝචනය වී රුධිරය ගැලීම නතර වෙනවා. නමුත් මෙය සිදු නොවුවහොත් කෙටි කාලයක් තුළ විශාල වශයෙන් රුධිරය කාන්දු විය හැකියි. කිලෝ 50ක දේහ බරක් සහිත මවකට ආසන්න වශයෙන් රුධිරය ලීටර් 3.5ක් ‍තිබේ යැයි අනුමාන කළහොත්, ඇගේ රුධිරය සම්පුර්ණයෙන් වැදෑමහට සම්බන්ධ රුධිර නාල හරහා කාන්දු වීමට ගත වන්නේ විනාඩි 5ක් වැනි කාලයක්. රුධිරයේ කැටිගැසීම සහ කාන්දුව වලකන යාන්ත්‍රණය ක්‍රියාත්මක වීමත් සමඟ උපරිම වශයෙන් විනාඩි 15-20ක් පමණ කාලයක් තුළ ඇයට මරණය අත්විය හැකියි.

ජේෂ්ඨ වෛද්‍යවරයාගේ මෙහෙයවීම ය‍ටතේ රුධිරය කාන්දුව වලකන්නට අවශ්‍ය කට‍යුතු සිදු‍ කෙ‍රුනා. නමුත් ඈට ඒවන විටත් සැළකිය යුතු රුධිරය ප්‍රමාණයක් අහිමිව තිබුන නිසා වෙන්කළ රුධිරය ගෙන එන්නට මා කඩිනමින් රුධිර බැංකුව වෙත ගියා. එහිදී විනාඩි දහයක් තුළ ලබාදුන් රුධිර බෑගයද රැගෙන මා ආපසු දිව ආවේ මා ප්‍රමාද ‍වන සෑම තත්පරයක් පාසාම ඇයව ජීවත් කර වීමට ඇති හැකියාව අඩුවන බව මා හොඳින් දැන සිටි නිසාමයි. මා ප්‍රසූත කාමරයෙන් කීපවරක් එහා මෙ‍හා යෑම පිටත රැඳී සිටි ඇ‍ගේ පවුලේ අයව තව තවත් නොසන්සුන් කරවූ බව මට දැනුනු නිසාම රුධිර පාරවිලනයෙන් පසු ඔවුනට තත්වය පැහැදිලි කර දෙන්න මා අමතක කළේ නෑ.

“බය වෙන්න දෙයක් නෑ. පිරිමි දරුවෝ දෙන්නෙක් ඉපදුනා දැන් ටිකකට කලින්. දෙන්නම දැඩි සත්කාර ඒකකයේ දැනට ප්‍රතිකාර ගන්නවා. අම්මට රුධිර වහනයක් සිදුවෙනවා අපි දැන් රුධිරය ලබා දුන්නා. තත්වය දැනට ස්ථාවරයි.”

රුධිර වහනය පාලනය කිරීමෙන් අනතුරුව ඇයගේ තත්වය මා සහ තවත් වෛද්‍ය සිසුවෙකු ‍විසින් නිරන්තරයෙන් පරික්ෂා කෙරුනා. ඇයගේ තත්වය ස්ථාවර බවට තහවුරු කරගැනීමෙන් අනතුරුවයි මා මගේ මිතුරා සමඟ නැවත මධ්‍යම රාත්‍රියේදී නැවත බෝඩිමට පැමිණියේ.

ඒවන විට ඊලඟ සතියේ සදුදා දිනය උදාවී අවසන්. නින්දට වැටෙන මොහොතේ මට ‍මගේ මහාචාර්යවරයා මීට දින කීපයකට පෙර කියූ දෙයක් සිහියට නැගුනා.

“රෝගියෙකුට ප්‍රතිකාර කරන විට බොහෝ විට ‍ අපිට වෛද්‍යවරු වශයෙන් හුඟක් දේවල් කැප කරන්න වෙනවා. සහෘදයන් වෙනුවෙන් වෙන්කළ කාලය, ආහාර සහ නින්ද ඒවයින් කීපයක්. රෝගියෙකුට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව ඔබට නිදාගන්නට ලැබෙන්නේ පැයක් වැනි‍ කෙටි කාලයක් වන්නට පුලුවන්. නමුත් තමන්ගේ වගකීම පැහැර හැරලා කළකිරීමෙන් නිදාගන්න පැය කීපයට වඩා ඒ එක පැය ඔබට වඩා සුවදායක නින්දක් වේවි.”

සත්‍ය සිදුවීමකි. නම් ගම් මනඃකල්පිතයි.
චන්දිම [25-06-2016]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code class="" title="" data-url=""> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong> <pre class="" title="" data-url=""> <span class="" title="" data-url="">